පටුන

▼

Thursday, April 16, 2020

ආර්ථික විද්‍යාව_වාණිජ බැංකු හා මහ බැංකුව III කොටස




• ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය

මහජන විශ්වාසය දිනා ගැනීම සඳහා වාණිජ බැංකු ද්‍රවශීල වත්කම් ගොනුවක් පවත්වා ගනී. මෙලෙස රඳවාගත යුතු ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කාලීනව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කරයි. සෑම වාණිජ බැංකුවක් ම අනිවාර්යයෙන්ම නියමිත සංචිත අනුපාතය පවත්වා ගත යුතුයි.

වාණිජ බැංකු වලට ලැබෙන තැන්පතු වලින් කොටසක් සංචිත ලෙස රඳවාගෙන ඉතිරිය ණය ලෙස ලබාදීමේ ක්‍රමය භාගික සංචිත බැංකු ක්‍රමය ලෙස හඳුන්වයි.

එලෙස වාණිජ බැංකුවක් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අනුව කටයුතු කරන ආකාරය උදාහරණයක් මඟින් සලකා බලමු.

උ.දා:- 1 එකතරා වාණිජ බැංකුවකට රු:5,000 ක තැන්පතුවක් ලැබේ.

• ඉහත ගනුදෙනුව ශේෂ පත්‍රයක දැක්වු විට පහත පරිදි වේ.


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10•/• ලෙස පවත්වා ගත යුතු බව ප්‍රකාශයට පත් කල විට ණය ලෙස ලබාදිය හැකි ප්‍රමාණය කොපමණ වේද?

• ඉහත වාණිජ බැංකුවෙන් දිය හැකි උපරිම ණය ප්‍රමාණය නිකුත් කර ලදුව, එම ණය මුදල් වෙනත් බැංකුවක් වෙත රැගෙන ගිය විට ශේෂ පත්‍රය පහත පරිදි වේ.





උ.දා:-2




සංචිත අවශ්‍යතාව 10•/• නම්, මෙම බැංකුව විසින් නිකුත් කල හැකි උපරිම ණය මුදල නිකුත් කර තිබේද?

- නැත



අධි සංචිත රඳවාගෙන ඇති නිසා උපරිම වශයෙන් ණය නිකුත් කර නැත.

• උපරිම වශයෙන් ණය නිකුත් කලානම් ශේෂ පත්‍රය පහත පරිදි වෙනස් වෙනව.



• උදාහරණ අංක 2 විදියට වාණිජ බැංකුව උපරිම වශයෙන් ණය නිකුත් කර නැහැ. ඒ වෙනුවට බැංකුව තමාගේ සංචිත ප්‍රමාණය වැඩිපුර රඳවගෙන. එහෙමත් නැත්නම් අධි සංචිතයක් රඳවාගෙන . (රඳවාගත යුත්තේ 10•/වුනත්, 20•/• ක් රඳවාගෙන ඇත)

• මේ විදියට වාණිජ බැංකු අධි සංචිතයක් පවත්වා ගන්න හේතු මොනවද?

1.ණය ඉල්ලුම් නොකිරීම.
- ණය ඉල්ලුම්කරුවන් විසින් ණය ඉල්ලුම් කිරීමෙන් වැලකි සිටීම නිසා, බැංකුව ණය දීමේ කටයුතු වලින් වැලකී, එම මුදල් සංචිත ලෙස රඳවා ගැනීම.

2.වාණිජ බැංකු කැමැත්තෙන්ම අධි සංචිත රඳවා ගැනීම.

-රට තුල ආර්ථික, ව්‍යාපාරික ගැටලුමය අවස්ථා වලදී මේ වගේ තත්වයක් ඇතිවෙන්න පුලුවන්. හරියටම කිව්වොත් මේ වෙද්දි අපේ රට තුල Covid 19 වසංගත තත්වය නිසා සෑම ව්‍යාපාරික කටයුත්තක්ම නැවතිලයි තියෙන්නෙ.ඉතින් මේ වගේ වෙලාවක ආර්ථිකයට අලුතින් මුදල් ගලා ඒමක් වෙන්නෙ නෑ. ඒ නිසා වාණිජ බැංකු ණය දීමේ කටයුතු වල නිරත වෙන්නෙ නෑ.

3.මහ බැංකුව මඟින් අධි සංචිත රඳවා ගැනීමට උපදෙස් ලබා දීම.

ආර්ථික විද්‍යාව_වාණිජ බැංකු හා මහ බැංකුව II කොටස



• ව්‍යාපාරික ආයතනයක් ලෙස වාණිජ බැංකුවක් ප්‍රධාන වශයෙන් අරමුණු 2 ක් අපේක්ෂා කරයි


1.මහජන විශ්වාසය දිනාගැනීම
.

මහජන විශ්වාසය දිනාගැනීමට වාණිජ බැංකුවකට තම ගනුදෙනුකරුවන් තැන්පත් කරන ලද මුදල් නැවත ඉල්ලුම් කරන විට ලබාදීමට හැකි විය යුතුයි. මේ නිසා එලෙස ගනුදෙනුකරුවන/ගිනුම් හිමියන් ඉල්ලූ විට ගෙවීමට කිසියම් මුදලක් වාණිජ බැංකු තමා සතුව තබා ගනී.මෙලෙස රඳවාගත යුතු ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කරයි.එම ප්‍රතිශතක ප්‍රමාණය ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ලෙස හඳුන්වයි.

2.ලාභදායිත්වය.

ව්‍යාපාරික ආයතනයක් ලෙස වාණිජ බැංකුවක් ලාභයක් අපේක්ෂා කරයි. මේ නිසා වාණිජ බැංකු තම තැන්පතු වලින් සංචිත අනුපාතය රඳවා ගෙන, ඉතිරි මුදල ණය ලෙස ණය ඉල්ලුම් කරුවන්ට ලබා දේ. එසේම තවත් කොටසක් වෙනත් විකල්ප ආයෝජන වල යොදවයි. එලෙස ණයට ලබාදුන් මුදල් වල ණය පොලියත්, සෙසු ආයෝජන වලින් ලබන ආදායම් මඟින් ලාභ උපයයි. එලෙස ලබන පොලී ඇතුලු විවිධ ආදායම් වලින් ලබන මුදලින් තම තැන්පතුකරුවන්ට, තැන්පතු පොලී ගෙවයි.

• ඒ අනුව වාණිජ බැංකු වලට තැන්පතුකරුවන්ගේ තැන්පතු වගකීමක් වේ. (නැවත ගෙවිය යුතු නිසා)එසේම එම තැන්පතු මුදල් වලින් ලබාදෙන ණය සිය වත්කම් ලෙස හඳුනාගනී.(නැවත අය විය යුතු නිසා) එලෙස වාණිජ බැංකුවක පවත්නා වගකීම් හා වත්කම් පහත පරිදි ශේෂ පත්‍රයක් තුල දැක්විය හැකියි.

ශේෂ පත්‍රය

*කිසියම් මූල්‍ය ආයතනයක, දෙන ලද නිශ්චිත අවස්ථාවකදී එහි පවතින මූල්‍ය තත්වය පෙන්වන ගිණුම් සටහනක් ශේෂ පත්‍රයක් වේ.

*ශේෂ පත්‍රයක් වත්කම් හා වගකීම් ලෙස පැතිකඩ දෙකකින් සමන්විතයි. මේ නිසා මෙවැනි ශේෂ පත්‍රයක වම් පස වගකීම් පැතිකඩත්, දකුණු පස වත්කම් පැතිකඩ ත් දක්වයි.




$එවැනි ශේෂ පත්‍රයක අන්තර්ගතය පහත පරිදි සවිස්තරාත්මකව දැක්විය හැක



• ඉහත සාකච්ඡා කල ආකාරයට වාණිජ බැංකු ලාභදායිත්වය සහ මහජන විශ්වාසය රැක ගැනීමට පහත පරිදි තම වත්කම් කළමනාකරණය කරගනී.

# මහජන විශ්වාසය දිනාගැනීම - එනම් ඉල්ලූ විට ගෙවීමට ද්‍රවශීල වත්කම් ගොනුවක් පවත්වා ගනී

# ලාභදායිත්වය - ලාභ ලැබීමට හෙවත් ආයෝජනයට අද්‍රවශීල වත්කම් ගොනුවක් තබාගනී.



• වාණිජ බැංකුවක පැවැත්ම රඳා පවතින්නේ මහජන විශ්වාසය මෙන්ම, ආයතනයේ ලාභදායිත්වය මතයි. මේ නිසා වාණිජ බැංකුවක දිගු කාලීන පැවැත්මකට ඉහත අරමුණු සාක්ෂාත් වන පරිදි තම වත්කම් ගොනුව නිසි ලෙස කළමනාකරණය කල යුතු වේ.

                මීළඟ ලිපියෙන් හමුවෙමු!

Wednesday, April 15, 2020

ආර්ථික විද්‍යාව_වාණිජ බැංකු හා මහ බැංකුව I


අ.පො.ස. උසස් පෙල ආර්ථික විද්‍යාව හදාරන ඔයාලට වැදගත් ම වෙන කොටසක් තමයි වාණිජ බැංකු සහ මහ බැංකුවේ ක්‍රියාකාරිත්වය කියන කොටස, ඉතින් ඒ මාතෘකාවට අදාලව ඔයාගේ දැනුම පරික්ෂා කරගන්න පොඩි පුනරීක්ෂණය ක් මේ ලිපියෙන් ඉදිරිපත් කරනවා.


• වාණිජ බැංකුවක් කියන්නෙ මොකක්ද?



චෙක්පතක් වැනි විධානයක් මඟින් හෝ අන්‍ය ආකාරයකින් ඉල්ලුම් කරන විට මුදල් ගෙවීමට සමත් වන, ජංගම ගිණුම් පවත්වාගෙන යාම සිය ප්‍රධාන රාජකාරිය කරගත්, මූල්‍ය අතරමැදිකරනයේ නියුතු ව්‍යාපාර ආයතනයක් වාණිජ බැංකුවක් ලෙස හඳුන්වනවා.

• මූල්‍ය අතරමැදිකරනය කියන්නේ මොකක්ද?

සරලවම, මූල්‍ය අතරමැදිකරනය කියන්නේ ආර්ථිකයේ මුදල් අතිරික්ත පවතින තැන් වලින් මුදල් ලබාගෙන, ආර්ථිකයේ මුදල් හිඟ/අවශ්‍ය තැන් වලට මුදල් ලබාදීමේ ක්‍රියාවලියට.
ඒ අනුව බැංකුවක් ආර්ථිකයේ මුදල් වැඩිපුර පවතින පාර්ශව වලින් ඒ මුදල් තැන්පතු විදියට අරගෙන, මුදල් අවශ්‍ය පාර්ශව වලට එම මුදල් ණය විදියට සපයනවා.

• වාණිජ බැංකු සහ වෙනත් මූල්‍යායතන අතර වෙනස මොකක්ද?

ප්‍රධාන වෙනස්කම් දෙකක් දැකගන්න පුලුවන්.

1.ජංගම තැන්පතු පවත්වාගැනීම.

වාණිජ බැංකු සහ වෙනත් මූල්‍යායතන ඕනිම එකකට ඉතිරි කිරීමේ, ස්ථාවර තැන්පතු පවත්වාගන්න පුලුවන්. ඒත් ජංගම තැන්පතු පවත්වාගැනීමේ බලය ලබාදීලා තියෙන්නේ වාණිජ බැංකු වලට විතරයි.

2.ආර්ථිකය තුල ණය මැවීමක් සිදු කිරීම.
 
වාණිජ බැංකුවකට ලැබෙන ජංගම තැන්පතු වලින් කිසියම් ප්‍රතිශතයක් සංචිත ලෙස තබාගෙන, ඉතිරි ප්‍රමාණය ණය ලෙස ආර්ථිකය ට මුදාහරිනවා. මේ විදියට ලැබෙන තැන්පතු මෙන් කිහිපගුණයකින් ණය ලබාදීමට වාණිජ බැංකු පද්ධතියකට හැකියාව තියෙනවා. මේ ක්‍රියාවලිය තමයි ණය මැවීම කියලා හඳුන්වන්නේ.

• වාණිජ බැංකුවක කාර්‍යයන් මොනවද?



වාණිජ බැංකුවක් ඉටු කරන කාර්‍යයන් කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්.

1.ප්‍රාථමික කාර්‍යයන්.
*තැන්පතු භාර ගැනීම.
*ණය ලබාදීම.

2.ද්විතියික කාර්‍යයන්.

*නියෝජන කටයුතු.(අණකර,ස්ථාවර නියෝග මත ගෙවීම්/රැස්කිරීම්)
*පොදු උපයෝගිතා කටයුතු.(උකස් සේවා වැනි)

• වාණිජ බැංකු මඟින් ලබාදෙන ණය වර්ග
මොනවාද?

නැවත අය කර ගැනීමේ කාලය සලකා බැලීමේදී වාණිජ බැංකු වලින් ලබාදෙන ණය ආකාර දෙකයි.

1.කෙටි කාලීන ණය.

*බැංකු අයිරා

$ජංගම තැන්පතුවක ඇති ශේෂය ඉක්මවා කිසියම් සීමාවක් දක්වා ගිණුම් හිමියාට චෙක්පත් මඟින් ගෙවීමට ඉඩ ලබා දීම.

*අන්තර් බැංකු ඒක්ෂණ ණය.

$වාණිජ බැංකු වල ඇතිවන ක්ෂ්ණික මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට වාණිජ බැංකු අතර සිදුවන කෙටි කාලින ණය ගනුදෙනු.
*වෙනත් කෙටි කාලීන ණය.


2.දිගු කාලීන ණය.

*ප්‍රාග්ධන වත්කම් අත්පත් කරගැනීම සඳහා ලබා දෙන ණය.

*ව්‍යාපාර ඇරඹීමට හෝ පවත්නා ව්‍යාපාර දියුණු කිරීමට ලබා දෙන ණය.

*එදිනෙදා ව්‍යාපාරික අවශ්‍ය්තා සඳහා ලබාදෙන ණය.

$වාණිජ බැංකුවක වත්කම්, වගකීම් මොනවද, ශේෂ ප්ත්‍රයක් කියන්නෙ මොකක්ද කියලා ඊළඟ ලිපියෙන් බලමු.